මට ඈ පෙනෙන තෙක් මානයේ එන විට මාගේ මුවේ මෙන්ම ඇයගේ මුවේද තිබුනේ සුන්දර සිනහවකි.ඇය දනට පමණ දිගැති කාර්යාල ඇදුමකින් සැරසි සිටියාය.ඇය ඇත්තෙන්ම කා වෙනුවෙන් මැවූවක්ද? මා වරක් මගෙන්ම ප්‍රශ්ණ කරන්නට විය.ඇත්තෙන්ම ඇය ප්‍රියකරුය දකින ඕනෑ කෙනෙකුන්ට ඇය පිළිබද ඇතිවන්නේ චමත්කාර සිත නිවන හැගුමකි.ඒ සුන්දර සිනහව කෙතරම් මා සිත වසග කලාද යත් මට මා අත තිබූ පොත් බෑගය පවා අතින් ලිස්සා වැටෙන්නට තරම් විය.ඇය තවත් මා සිටි ස්ථානයට ලන්වනවිට මාගේ හද වේගයෙන් ගැසෙන හඩ මට ඇසෙන්නට තරම් වේගවත් විය.මට පොත්බෑගය ඉවතට වීසි කර සෙනග මැද්දේ ඇයව සිපගැනීමට තරම් සිත්විය.ඈ මාගේ කරට ගෙන ඇය මාගේමයි වෙන කාගෙවත් නෙවෙයි යනුවෙන් කෑ ගසමින් පාර දිගේ දුවන්නට තරම් සිහිසුන් බවක් ඇතිවන්නට විය.මා කෙසේ ඉවසුවාද මට අදටත් එය සිතාගත නොහැක.ඇත්තෙන්ම ඇය අන් කිසිවකු නොවේ.ඒ මාගේ සිත තුළ රජ කරන මාගේ සිහින කුමරියයි.ඇය මේ ගමන පැමිනියේ මාගේ බලවත් ප්‍රයත්නය මත වුවද එයින් ඇයටද වාසියක් සැලසෙන බව ඇය දන්නා කරුනකි.ඈ කිසිවිටකත් නොසිතූ එකම කරුණනම් මා ඇයට කෙතරම් පෙම් කරනවාද යන්නය.
“මන් පරක්කුයිද ?”
“නෑ මමත් දැන් චුට්ටකට කලින් ආවේ.මන් ඔයාට හෙව්ව නෝට් ටික ගෙනවා හැබැයි ඔක්කොම ටික තියෙනවද කියලනම් මන් දන්නේ නෑ.”
“ආ..ඒකට කමක නෑ.”
“හැබැයි මේ ටික පිළිවෙලට හදාගන්න වෙයි.ටිකක් කලවම් වෙලා තියෙන්නේ.”
“ඒ වැඩේ මට කරගන්න පුලුවන්.ෆයිල් කවරයක් නැද්ද මේ ටික දාගෙන යන්න.? “
බෑගය තුළ වූ විශ්ව විද්‍යාලයේ සටහන් දමා තිබූ ෆයිල් කවරය ඉවතට ගත් මම සටහන් බෑගය තුළට දමා ෆයිල් කවරය ඈ අත තැබුවේය.
“දැන් ඔයාගේ නොට් ටික දාගන්න එකක් නැහැනේ..ඒක හරියන් නෑ..”
“නෑ නෑ ඒකට කමක් නෑ ඔයා ඕක ගෙනියන්න.බෑග් එක ඇතුලේ තව එකක් ඇති.” මා එසේ පැවසුවේ ඇයගේ සිත සැනසීමටය.
“මෙන්න ඔයාට ඉල්ලපු පොත් දෙක.”
“තෑන්ක්ස්..මන් මේ පොත් දෙක හැම තැනම හෙව්වා ඒත් මට හොයාගන්න බැරිවුනා.බැරිම තැන ඔයාගෙන් ඇහුවේ.”
ඒ මා හට දිගුකලක සිට අවශ්‍ය කර තිබූ පොත් දෙකකි.ඇය සතුව එම පොත් ඇති බැවින් කියවා ආපසු ලබාදීමට මා ඇයගෙන් ඉල්ලා සිටියේය.ඇය ඒ වෙනුවෙන් මගෙන් ඉල්ලා සිටියේ ඈ හට අවශ්‍ය කරන සටහන් පොත් සොයා දෙන ලෙසටය.මා ඇයට ලබාදුන්නේ එම සටහන්ය.
“ම්ම්... දැන් ඔයා කොහොමද යන්නේ..”
“මගේ ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක ඉස්සකරහ ෂෙඩ් එක හරියට එනවා.මන් ට්‍රයිෂෝ එකේ මෙතන්ට ආවෙ.දැන් ඉතින් ඉතුරු ටික පයින් ඇවිදන් යනවා.”
“මමත් ආවට කමක් නැද්ද ඔයත් එක්ක.?”
ඈ මුවට නැගුනේ සිනහවකි.ඈ වචනයෙන් එන්න යැයි නොකීවත් ඒ පිලිබද ඇයගේ කිසිදු අකමැත්තක් නොමැති බව මට වැටහුනි.ඈ සමග එක වචනයක් හෝ කතාකරමින් ගෙවා දමන්නා වූ කාලය මට ජීවතයේ ලැබෙන උතුම්ම සැපතක් යැයි ඈ හීනයකින් වත් නොසිතන්නට ඇත.
ඇයට සමාන්තරව ඇවිදිමින් මම ඇයගේ කාර්යාල සේවය බස් රථය පැමිණෙන ස්ථානය දෙසට පියමන්කරන්නට වූවෙමි.ඒ ස්ථානය හරියටම බම්බලපිටිය මැජස්ටික් සිටි සාප්පු සංකීරණය ඉදිරිපිටය.අප දෙසෙට ඇදෙන දෙනෝදහසක් සෙනග අතරින් අපි ඉදිරියට ඇදෙන විට විටෙක ඇගේ උරහිස මාගේ අතෙහි වදින්නට විය.ඇය මට වඩා උසින් අඩුය.ඇය උස් අඩි පාවහන් නොපැලැද සිටින්නේ නම් ඇයගේ නළල මාගේ නාසය තෙක් උපරිම උස විය හැකිය.ඇය මාගේ අතෙහි වදින වාරයක් වාරයක් පාසා මා හට සිතුනේ ඇයගේ අතින් අල්ලාගෙන ඉදිරියට ඇවිදන් යාමටය.විටින් විට හමන සුළග නිසාවෙන් ඇයගේ දගකාර කෙස් රොදක් ඇයගේ මුව සිපගන්නට විය.එවිට ඇය තම ඇගිල්ලෙන් ඒ කෙස් රොද ඉවත් කරේ මා දෙසද නෙත් යොමාගෙනය.ඇත්තෙන්ම ඒ කෙස්රොද ඇයට වදයක්ද.මට එය මාගේ ඇගිලි වලින් ඇයගේ මුහුනින් ඉවත්කරන්නටද සිතුනි.
“අන්න අපේ ට්‍රාන්ස්පෝර්ට් එක.අයියෝ දැන් ඉතින් ඒකේ යන්න බෑ”
*********************
“මචන් උබ කොහෙද හදිස්සියේ දුවන්නේ.?”
“මෙන්න මේ නෝට් වගයක් ෆොටෝ කොපි කරගන්න.”
“ඔච්චර ගොඩක්”
“ඔව් බන් මගේ යාලුවෙක්ට..”
“ඔච්චර ගොඩක් !යාලුවෙක්නම් වෙන්න බෑ ඇත්ත කියපන් කාටද?”
“හරි හරි බන් යාලුවෙක් තමයි ඒත් ඉතින් අනේ මන්දා..”
“හරි හරි මට හිතාගන්න පුලුවන්..ඉක්මන්ට පලයන් ඕක ගහන්න හෙන වෙලාවක් යයි.ආ එඩියුකේෂන් එකේ බුක් ෂොප් එකට පලයන් ඒකේ සෙනග හිටියේ නෑ.”
යාලුවාගේ ආරන්චියත් සමගම මා ඉක්මිනින් පියමන් කලේ අධ්‍යාපන පීඨයේ ඡායාපිටපත් කරන ස්ථානය වෙතය.ඔහු පැවසූ පරිදිම මා එයට යන විට කිසිවෙකු එහි නොසිටි බැවින් මාගේ කාර්යය ඉක්මනින් සිදුකරගන්නට හැකිවෙතයි මට සිතුනි.
“අක්කේ!! මෙන්න මේ ටික ෆොටෝ කොපි කරලා දෙන්න.”
“හොද ටික..! පැයක්වත් යයි මල්ලී...ඉන්න පුලුවන්ද එච්චර වෙලා.”
“අයියෝ ඒක අවුලක් නෑ අක්කේ..මන් ඉන්නම්”
එවිටම මාගේ ජංගම දුරකථනය බී බීප් හඩ නගන්නට විය.සිතූ පරිදිම එම කෙටි පණිවුඩය ඇයගෙනි.ඇගේ නම සමග මගේ දුරකතනයෙහි සටහන් වූයේ ටෙකස් මැසේජ් ෆ්රොම් ස්වීටි පී ලෙසය.මා මුවට නැගුනේ සිනහවකි.මට ඇගේ මුහුණ ජංගම දුරකතනයෙන් මැවී පෙනුනි.ඈ මාත් සමග සිනහසෙන්නට විය.ඇත්තෙන්ම ඇය පිලිබද සිතුවිල්ල කෙතරම්ද යත් මා තිනියෙන් සිනහ සෙන්නට විය.
“මන් අද හවස පහට එම්.සී එක ගාවට එන්නම්.ඔයා ඇවිත් ඉන්න” කෙටි පණිවිඩයේ සටහන්ව තිබුනේ එසේය.පෙරලා එයට ප්‍රතිචාර දැක්වූ මම “ඕකේ. මන් එන්නම් “ යැයි පණිවිඩයක් ඇයට යැවීය.
එවිට තවත් කෙටි පණිවුඩයකි.එය මට ලැබී තිබුනේ ඡායාපිටපත් ලබාගැනීමට මා හට සටහන් ලබා දුන් මිත්‍රයාගෙනි.එනම් සටහන් වල මුල් අයිතිකරුවාගෙන්ය.
“මන් හයට විතර බම්බලපිටියෙන් නෝට් ටික ගන්නම්” යනුවෙන් එහි සදහන් විය.එයටද කෙටි පිළිතුරක් යැවූ මම දුකරතනය සාක්කුවට දමාගත්තේය.
පැයක පමණ කාලයකින් පසු සියලුම පිටපත් ලබාදුන් බැවින් එහි ගාස්තුව ගෙවා මා ඉක්මනින් බම්බලපිටිය දෙසට පියනගන්නට විය.එවිට වේලාව 4.40 පමණ වී තිබුනි.විශ්ව විද්‍යාලයේ සිට බම්බලපිටියට යා හැකි ආසන්නම මාර්ගය රැජින පටුමග වූ හෙයින් මන් පය ඉක්මන් කලේ ඇය පැමිනීමට පෙර එම ස්ථානයට ලගාවීම සදහාය.දෙපස ඇති සුවිසල් ගස් අතරින් වැටෙන සවස් යාමයේ ක්ෂිතිජය ගිලගන්නා හිරුගේ රන්වන් හිරුකිරන මා හට ආශිර්වාදයක් යැයි මා සිතීය.කාලය විසින් එවිට මා හට බාදා කලේ නොසිතූ පරිදිය.පැලද සිටි රබර් සෙරප්පු දෙකෙන් එකක පටියක් කැඩී ගියේ දෛවය විසින් මට කළ සරදමක් නිසාදෝ මට සිතුනි.
“පුතේ උබ ඊයෙත් ලිස්සලා වැටෙන්න ගියා නේද?මෙන්න මේ සල්ලි වලින් රබර් දෙකක් ගනින්..”අම්මා කියූ වචන මා දෙසවන්හි දෝන්කාර දෙන්නට විය.ඇය ලබා දුන් මුදල්ද මා ඡායාපිටත් සදහා යෙදවූ බව මට මතක්වූයේ එවිටය.කැඩුනු සෙරප්පුව අතට ගත් මම ඇවිද ගියේ අසල ස්ථානයක තිබූ මුරකුටියක් වෙතටය.
“අයියේ හැට්ට කට්ටක් නැද්ද..? සෙරප්පුවක් කැඩුනනේ.”
“පොඩ්ඩක් ඉන්න මල්ලී “ යැයි පැවසූ එහි සිටි මුරකරු ඔහුගේ ඇදුමේ ගසා තිබූ හැට්ට කටුවක් ගලවා මා අත තැබුවේය.ඉක්මනින් එය කැඩී ගිය සෙරප්පුවෙහි අමුනාගත් මම “බොහොම ඉස්තූතියි අයියේ වෙලාවෙ හැටියට මට මේක ලොකු උදව්වක්” යැයි පවසා නැවතත් බම්බලපිටිය දෙසට ගමන් කරන්නට විය.කෙසේ හෝ මම ඇය පැවසූ වේලාවට කලියෙන් අදාල ස්ථානයටවිත් ඇය එනතුරු මගබලා සිටියෙමි.
*********************
ඇය ඈත ගමන් කරන කහපැහැති කුඩා බස් රථයක් පෙන්වීය.දිව ගොස් කෑගසා බස් රථය නවත්වාදීමට වරක් මට සිතුනි.එහෙත් බස් රථය අප සිටි ස්ථානයේ සිට මදක් ඈතින් ගමන් කළ බැවින් එය නිශ්ඵල කටයුත්තක් විය.නමුත් බස් රථය මගහැරීම පිළබද ඇයගේ මුහුණේ ඉරියව්වන්හි දුක්මුසු හැගීමක් නොතිබීය.
“දැන් ඉතින් පාරේ බස් එකේ තමයි යන්න වෙන්නේ.උදව්වකුත් කරපු එකේ මමත් උදව්වක් නොකරොත් හරි නෑනේ.ෂෝටීස් මුකුත් කන්න යන්න කැමැතිද?”
ඇය එකවරම එවැනි යෝජනාවක් කිරීම පිළිබද ඇතිවූයේ පුදුමයකි.මන්දයත් මා හටද අවශ්‍ය කාරනය වූයේත් ඇය සමග මොහොතක් පිළිසදරේ යෙදීමට අවස්ථාවකි.
“ම්ම්හ් ඔයාගේ කැමැත්තක්.”මම පිළිතුරු දුනිමි.
“එහෙනම් අපි පී ඇන් එස් එකට යමු....ම්ම්ම්.. මොකද නැත්නම් ෆැබ් එකෙන් අරන් ඕනෙද? පී.ඇන්.එස් එක හොද මදිද දන්නේ නෑනේ..” ඇය සිනහවෙමින් පවසන්නට විය.
“අපෝ කැම්පස් අපිට ඕනේ එකක්.”
“ආ කැම්පස් නේ අපි තමයි ඕව වෙනුවෙන් ටැක්ස් ගෙවන්නේ.අපේ පඩියෙන් ටැක්ස් කපාගන්නවා ඔයාලා ඒකට ගිහින් පිකට් කර කර කෑ ගගහ ඉන්නවා ගියපු වැඩේ කරගන්නේ නැතුව..”
“හරි හරි ඉතින් කැම්පස් උනාම එහෙම තමයි.”
“ඉන්න මන් කාර්ඩ් එකෙන් සල්ලි අරන් එන්නම්.”
“කෝ පොත් ටික දෙන්න මන් තියාගන්නම්”
මා ඇය අත වූ පොත් මිටිය ලබාගත්තෙමි.ඈ එය මා හට ලබා දුන්නේ ඇය අතැති සුරතල් බිලිදෙකු මා අතට ලබාදෙන්නා සේ දැයි මට සිතුනි.මතුයම් කෙදිනකෝ එය එලෙසින්ම සිදුවෙයිද? ඈ පිළිබද මා තුළ ඇති හැගීම පවසන්නට අවස්ථාවක් ලැබෙනකන් මා තත්පර ගනින්නට විය.නමුත් එවිට ඇය මා සමග වෛරයක් ඇති කරගනියිද ඇය මගෙන් බලාපොරොත්තු වන්නේ හුදෙක් මිතුදමක් පමණක්ද?
“හරි යමු “ ඇය ඒ.ටී.එම් යන්ත්‍රෙයන් මුදල්ද රැගෙන පැමිණියේය.ඒ.ටී.එම් යන්ත්‍රය පිහිටි ගොඩනැගිල්ලේම පහල තට්ටුවේ පී එන් එස් අවන්හල පිහිටා තිබුනේය.අවන්හල දොරකඩට පැමිණි මම ඇයට ඇතුල්වීම සදහා එහි දොර විවෘත කර ඈ අතුල්වනතුරු දොර අල්ලා සිටියෙමි.පුරුෂයෙකු වශයෙන් කෙදිනක හෝ තම ආදරවන්තිය හෝ බිරිද වෙනුවෙන් එවන් දෑ සිදුකළ යුතුය යන්න මාගේ හැගීම විය.අවහන්හලට ඇතුලු වූ මම, ඇය අයකැමි කවුන්ටරය අසල නැවතුනු බැවින් ඉක්මිනින් අවහන්හල මුල්ලේ තිබූ මේසය මත පොත් බෑගය තැබුවේ කවුරුන් හෝ පැමිණ එම මේසය ලබාගනී යන හැගීම මා සිත පහල වූ බැවිනි.ඇය මට කතා කලේය.
“ඔයා මොනවද කන්නේ ?”
“ඔයා කැමති දෙයක් ගන්න.”
“එහෙම බෑ හරිද… ඔයා කියන්න..”
“ම්ම්ම්..එහෙනම් මට අර අතන තීන ඒවයෙන් එකක් ගන්න..”
“මොනවද ඒවට කියන්නේ? "
“මන් දන්නේ නෑ!!”
“මන් දන්නෙත් නෑ!!”
අප දෙදෙනා මුහුනට මුහුන බලා සිනාසෙන්නට විය.ඒ සිනහව කෙතරම් ප්‍රියකරුද.ඇත්තෙන්ම ඇය මගේම උනානම් නැවත වරක් මට සිතෙන්ට විය.
“එතකොට මොනවද බොන්නේ..”
“ම්ම්ම්.. කෝක් එකක් ගන්න.”
"අපෝ ඕවා ඇගට හොද නෑ"
" අපි ඔයිට වඩා ජරාව කනවා අනේ.." මා ඇයට පැවසුවේ විශ්ව විද්‍යාල කැන්ටිමෙහි ආහාර වේල සිහියට නගමින්ය.
ඇය විසින් ලබාගත් ආහාර සහිත පිගන් දෙක මා විසින් අවහන්හලේ මුල්ලේ බෑගය තැබූ මේසය වෙත රැගෙන ගියේය.ඇය පහසු විදියට හිදගත් පසු මම ඇයගේ ඉදිරියෙන් තිබූ පුටුවෙන් හිදගත්තේය.දැන් ඇය සෘජුවම මා ඉදිරියේය.අප දෙදෙනා අතර මුහුණට මුහුණ දුරපරාසය උපරිම අඩි දෙකක් පමණ විය.ඇත්තෙන්ම මෙය සිහිනයක්ද.වසර ගානක් තිස්සේ මා බලා සිටි මොහොත මෙය නොවෙයිද? ඇය අද මා ඉදිරිපිටි ජීවමානව සිටියි.නැවත වරක් කොහේදෝ සිට හමා ආ සුළගක් නිසාවෙන් ඇයගේ දගකාර කෙස් රොද ඇයගේ කම්මුල මත හුරතල් වන්නට විය.පුරුදු පරිදි ඇය සිය ඇගිල්ලෙන් කෙස්රෝද ඇගේ කෙස්වැටියට එකතුකර ගත්තේය.ඇයගේ දීප්තිමත් ඇස් දෙස මා එක එල්ලේ බලා සිටියේය.ඒ ඇස්වල තිබූ අහින්සක දගකාර කම ඇත්තෙන්ම ඇයගේ චරිතයේද නිසගයෙන් පැවතීය.ඇය පුංචි සුරංගනාවියක්දැයි මට සිතුනි.
“ඉතින් දැන් මේ ඔයාගේ කීවෙනි අවුරුද්ද ? “ ඇය අප අතර තිබූ නිහැඩියාව බිද දැමුවේය.
“දැන් තර්ඩ් ඉයර් එක තව අවුරුද්දකින් අපිත් ඔයා වගේ ජොබ් කරයි...දැන් ඔයා සිමා වල කීවෙනි ස්ට්ජ් එකේද? “
“මෙහෙමනෙ’’ සිලබස් වෙනස් උනයින් පස්සේ දැන් හුගක් වෙනස් වෙලා.”
“දැන් ඉතින් අවුලක් නැහැනේ..ඕනේ කිව්ව නෝට් ටික මන් හොයා දුන්නනේ.දැන් තියෙන්නේ ඉතින් හොදට පාඩම් කරලා විභාගෙ කරන එක.”
“ඔව් ටික ටික පටන්ගන්න ඕනේ දැන්ම..”
“කවද විතරද එක්සෑම් තියෙන්නේ?”
“එක්සෑම් එකටනම් තව කල් තියෙනවා.”
“ආ එහෙනම් බය වෙන්න දෙයක් නැහැනේ..”
වෙනදාට මන් ඇයට කෙටි පනිවිඩයක් යැවූවද හරිහැටි එයට පිලිතුරක් නොමැති ඇය අද දගකාර මුව පැටියකු සේ මා ඉදිරිපිට නොනවත්වා කතා කරන විට මට මේ ඇයමදැයි වරක් සිතුනි.මන්දයත් වෙනත් දිනයන්හිදී ඇය මාගේ යම් කතාවන් සදහා බැන වැදුනු අවස්ථාද ඇති නිසාවෙනි.ඇත්තෙන්ම අද ඇය පැමිණියේ ඇයට මා විසින් සොයා දෙන්නම් යැයි කියූ ඇයට අවශ්‍ය කරන සටහන් රැගෙන යාමටය.දැන් ඒ සියල්ල ඈ සතුය.මා විසින් ඈ හට උපකාරයක් කරා යැයි සිතුනු විට මට මා ගැනම ඇති වූයේ මහත් ආඩම්බරයකි.මිනිත්තු පහළවක පමණ කාලයක් අප සිනහ වෙමින් විහිළි කරමින් සුහද ලෙස ඇසුරු කරන්නට වූවෙමු.
“ඔයා මොනවත් බොන්නේ නැද්ද ? “මන් ඇයගෙන් ප්‍රශ්ණ කරන්නට විය.
“ඒක තමයි මාත් මේ කල්පනා කලේ..”
“මගේ ගානේ මොනාහරි අරන් දෙන්නද?”
“පිස්සුද ඔයාට..!! ම්ම්ම් මන් මේ කල්පනා කලේ මොනවද ගන්නේ කියලා..”
“කිරි ජාති තියෙන්නේ එයින් එකක් ගන්න.”
“අපෝ බෑ මට කිරි ජාති බිව්වම වමනෙට එනවා.”
“ඒ මොකද ඒ..? “
“දන්නේ නෑ මට ඒවා දිරවන්නේ නැද්ද කොහෙද..බිව්වට පස්සේ ආපස්සට එනවා.මන් වෙන මොනවා හරි අරන් එන්නම්.”
ඇයි විසින් රැගෙන ආ පානය අවසන්වන්නටත් ප්‍රථම ඇය මේසයෙන් නැගී සිටිමින් කියා සිටියේ
“ දැන් අපි යමු නේද නැත්නම් මට රෑ වෙනවා” යනුවෙනි.මා අත තිබූ කොකා කෝලා බෝතලය ඉක්මනින් හිස්කර දැමූ මම “ හරි යමු” යැයි පැවසුවේය.ඇය සිනහවී “ ඕනෙනම් අරකත් බොන්න “යැයි පවසමින් ඇය විසින් හිස් නොකළ බීම බෝතලය මා හට පෙන්නුවේය.එවිට මා හට ඇතිවූයේ ලැජ්ජාශීලී හැගීමකි.
ඇය කුමක් අරඹයා එසේ පැවසුවද ඇත්තෙන්ම ඇය තොලගෑ බීම බෝතලය රස බැලීමට මට සිතුනේ ඇය එහි මුල් උගුර පානය කර අවසන් කළ මොහොතේ සිටය.ඈ බෑගයද රැගෙන යන්නට සැරසෙනවාත් සමගම මා ඇයට නොපෙනන ආකාරයෙන් බීම බොතල් දෙකෙහි වූ බීම බට දෙක රැගෙන පසුපස සාක්කුවට දමා ගත්තේය.එය අපගේ පළමු හමුවීමේ මතක සටහන්ය.අදටත් මා සතුව ඇති එම බට දෙක ඇය සමග ගත කළ ඒ සුන්දර මොහොත සිහියට නගන්නේය.ඉක්මනින් අවන්හලෙහි දොර වෙත ඇදුනු මම ඇයට අවන්හලෙන් පිටවීම සදහා දොර විවෘත කලේය.
“දැන් මේ ටික මෙහෙම අරන් යන්න බෑ වැටෙනවා ෆයිල් එකේ දැම්මත්..නෝට් ගොඩක් තියෙනවනේ..මුකුත් බෑග් එකක් නැද්ද ඔයා ගාවා.”
“නැහැනේ..අපි මේ බුක් ෂොප් එකට ගිහින් බලමු ඒකෙන් ටියුලිප් බෑග් එකක් හරි ගන්න පුලුවන් වෙයිනේ..”
පෙර සේම ඇයට ඇතුළු වීම සදහා පොත් හලෙහි දොර විවෘත කළ මම ඈ පිටුපසින් ගමන් කළෙමි.වෙළදසැළ තුළ සොයාබැලූ නමුදු කිසිදු බෑගයක් මිලදී ගැනීමට නොතිබුනි නිසාවෙන් අප නැවතත් එළියට පැමිණියෙමු.
“ඔයා ඔතනම ඉන්නවද? මන් පාරෙන් එහා පැත්තේ කඩවල් වල බෑග් තියෙනවද කියලා බලලා එන්නම්.ඔතනම ඉන්න හරිද.? “ මම ඇයට පැවසූවෙමි.
“හරි හරි ඉක්මන්ට එන්න”යැයි පවසමින් ඇය හිස වනන්ට විය.
මා පාරෙන් අනෙත් පැත්තේ තිබූ වෙළදසැල් කිහිපයකම බෑග් සෙවූ නමුදු එහිද කිසිදු බෑගයක් නොතිබුනි.වෙළදසැල් එකින් එකට පියනගන විට මා විටින් විට හිස ඔසවා ඇය දෙස බැලුවේ ඇය කරදරයක් නොමැතිව මා පැවසූ ස්ථානයේ සිටිනවාද යන්න තහවුරු කරගැනීමටය.අවසානයේ ඈ දෙසට හැරුණු මම බෑගයක් සොයාගැනීමට නොහැකි වූ බව ඇයට හස්ත සංඥාවෙන් දුර සිට ප්‍රකාශ කලේය.එවිට ඇය හිස වනා එන්න යයි පැවසූ බැවින් මා නැවතත් පාර මාරු වී ඇය සිටි ස්ථානය පැමිනියේය..පොඩි ළමයකු පුතේ මන් එනකන් ඔයා මෙතන්ටම වෙලා ඉන්න යැයි පැවසූ කළ නොසෙල්වී සිටිනා සේ ඇයද මා එනතුරු එතනට වී සිටියේය.ඇය එතරම් කීකරුයිද?මා හට සිතාගැනීමටවත් නොහැකි තරමට ඇය මෘදු චරිතයක් බව මට හැගී ගියේය.
මා හටද ඇය සමග පිටකොටුව දක්වා බස් රථයේ ගමන් කිරීමට හැකියාව තිබුනද සටහන් ලබා දුන් මිතුර තවමත් එහි නොපැමින ඇති හෙයින් ඒ අවස්ථාව මගෙන් ගිලිහී යනු ඇතැයි මා දුක්විය.ඇය මගෙන් වෙන්ව යාමට තවත් ඇත්තේ මිනිත්තු කිහිපයක් බව හැගුනු විට නැවතත් මාගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය.
“ඔයා පොඩ්ඩක් ඉන්නවනම් මටත් ඔයත් එක්කම එන්න පුලුවන්.”
“බෑ රෑ වෙනවනේ”
“ඒකනේ..මේ නෝට් ටික ගෙනියන්න එනවා කිව්ව යාලුවා තාම නෑනේ..එහෙනම් ඔයා යන්න.”
ඇය සිපගෙන ඇයට සමුදීමට සිත් ඇතත් එසේ කිරීමට තරම් ඇය හා මා අතර එවැනි සබදකමක් නොතිබීම ගැන මා කනගාටු විය.එය එසේ වූවනම් මා ඇයට උණුසුම් හාදුවකින් සමුදෙනවා නොඅනුමානය.එකම කරුණනම් මා ඇයට කෙතරම් පෙම් කරන්නේද යන්න පිළිබද ඇයට කිසිදු හැගීමක් නොතිබීමය.
චිරි චිරියේ සෙනග ඇති බස් රථයකට ඇය මට සමුදී ගොඩවූයේ ඉතාමත් අමාරුවෙනි.”අනේ ඇයත් සමග මටත් යන්න තිබුනානම්..” ඒත් සටහන් ලබා දුන් මිතුරා තවමත් නැත.ඇය නැගි බස් රථය වේගයෙන් හඩ නගමින් මා සිටි ස්ථානයෙන් ඈතට ඇදෙනු මා බලා සිටියෙමි.ඉන් ටික වේලාවකට පසු මිතුරා පැමිණි බැවින් ඔහුට සටහන් පොත් ලබා දී මා ඉක්මනින් පිටකොටුව දෙසට යන බස් රථයකට ගොඩ වූවෙමි.පිටකොටුවට පැමිණි වහාම මා ජංගම දුරකථනය අතට ගෙන ඇයගේ අංකය ඇමතුවෙමි.
“හෙලෝ..ඔයා බස් එකට නැග්ගද?” පිටකොටුවේ සිට ඇයගේ නිවසට යාමට තවත් බස් රථයක ගමන්කළ යුතුව තිබූ බැවින් මා ඇයගෙන් එසේ අසා සිටියේය.
“ඔව් මන් දැන් මේ බස් එකේ”
“පොඩ්ඩක් ඉන්න… මන් ඔයාට නෝට් ටික දාගෙන යන්න බෑග් එකක් අරන් එන්නම්..”
“එපා එපා දැන් ඕනේ නෑ බස් එකෙන් බැහැලා පොඩි දුරයි යන්න තීන්නේ..”
“හරි එහෙනම් ගෙදර ගිහින් මට කියන්න.බායි”
“හරි.බායි”
*********************
“ඔයා ගෙදර ගියාද?” මාගේ දුරකථනයෙන් ඈ වෙත කෙටි පණිවුඩයකි.නමුදු එයට කිසිදු ප්‍රතිචාරයක් නොවීය.මා ඇයගේ අංකය ඇමතුවෙමි.එයටද කිසිදු ප්‍රතිචාරයක් නොමැත.දින දෙක තුන ගතවී ගියේ ඇය සමග ගත කළ මොහොත පිළිබද මා සිත සතුටු කරමිනි.නමුත් ඇය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන්නේ මවිසින් ඈ වෙත වරදක් සිදුකළාවත්ද?මා නැවත ඇය ඇමතූවෙමි..ඇයගෙන් ප්‍රතිචාරයක් නැත.ඒ වෙනුවට ඇයගෙන් කෙටි පණිවිඩයකි.
එය සත්‍යයක්ද?කෙටිපණිවුඩය දුටු මම හුදෙකලා සිහිනයකට ගොඩවදින්නට විය. නමුත් එය එසේ විය නොහැකිය. දෛවය විසින් මට සරදම් කරයිද? තවම මා සිත ඇය පිළිබද ලතැවිල්ලෙනි , ඇයගෙන් කෙටි පණිවිඩයක් හෝ ලැබෙනතුරු බලාපොරොත්තුවෙනි.ඇය එක්ටැම්ගෙයක උන්මාද චිත්‍රා කිරීමට මා හට අවශ්‍ය නැත.ඇය සමග හුරතල් වෙමින් ඇයට දග වැඩ කරමින් ඇය සමග දවසපුරා ගතකිරීමට අවස්ථාව ලැබෙනතුරු ඇගිලි ගනින්නේය.ඒ සිහිනයේ ඇය මා හට රැජිනකි.පාර කියන තාරුකාවකි.මන් ඔහුගේ යටහත් පහත් රජුය.ඇය මට වඩා බලවත්ය.ඒ ඇය නොමැතිව රජුට ජීවත්විය නොහැකි නිසාවෙනි.එහෙත් ඒ සියල්ලටම වඩා ඇය කෙරේ වූ මාගේ ආදරය බලවත් ය.එසේනම් ඇයගෙන් ලද අවසන් කෙටි පණිවිඩයහි අර්තය මා හට පිළිගත නොහැක.එය මෙසේය,
“මේ හලෝ තමුසේ මහ වදයක් හලෝ.මට බෝයි කෙනෙක් ඉන්නවා ප්ලීස් ආයෙම මට මැසේජ් කෝල් දීලා වද දෙන්න එපා...”
අවසන් නොවූ තවත් ආදර කතාවකි.
ලිව්වේ ගුණේ

0 comments:
Post a Comment